top of page

නඩත්තුව

පැළ කිරීමෙන් මාසයකට පමණ පසුව අංකුර වර්ධනය වීමක් දක්නට ලැබේ.නමුත් වැසි රහිත කාලගුණික

තත්ත්ව වලදී අංකුර ඇදීම මාස දෙකක් පමණ ප්‍රමාද විය හැකිය.සක්‍රිය වර්ධන අවධිය පැළ සි‍ටුවීමෙන්  පසුව

මාස 3-4 දක්වා ද, සෙමින් සිදුවන වර්ධන අවධිය  මාස 4 - 6 දක්වා ද සිදුවේ. ඉන්පසු මාස 06 සිට අස්වනු

 නෙලන තෙක්ම ස්වාභාවිකවම බෝගයේ වර්ධක කොටස් කහ පැහැවී මැරී යයි.මල් පිපෙන අවස්ථාවේ

(සැප්තැම්බර් - ඔක්තෝබර්) සිට පත්‍ර කහවන් පැහැවන අවස්ථාව දක්වා වු කාලය ශාකයේ භූගත රෛසෝම

වල ආහාර ගබඩා වීමක්, තන්තු තැන්පත්වීමක් හා ආරක්ෂිත ආවරණයක් නිපදවීමක් සිදුවන්නේ ඊලඟ වගා

කන්නය තෙක් සුප්ත කාලයක් ගත කිරීමට අනුවර්තනය වීමක් ලෙසය. ඉඟුරු වගාවක් සඳහා වැඩිපුර

අවධානයක් යොමුකළ යුත්තේ සක්‍රිය වර්ධන අවධියේ දීය.මෙම කාලසීමාවේදී ඉඟුරු පැළයක් ජලය සහ

පොහොර සඳහා වඩාත් ප්‍රතිචාර දක්වයි.පැළ සි‍ටුවා මාස 8 ක් ගතවන තෙක් මුළු ශාකයේම වියළි බර වැඩිවීමක්

 දක්නට ලැබේ.මෙම කාල සීමාවෙන් පසුව වියළි අඩු වීමක් නිරීක්ෂණය කළ හැකිය.රෛසෝමයේ වර්ධනය

අස්වනු නෙලීමේ අවස්ථාව දක්වාම සිදුවේ.

 

ජල සම්පාදනය:-

 

           ඉඟුරු වගාවකට වැඩිපුර ජලය අවශ්‍යවන වර්ධක අවධි තුනක් හඳුනා ගෙන තිබේ.අංකුර ප්‍රරෝහණය

වන අවධිය, රෛසෝම හටගන්නා අවධිය,(බීජ සි‍ටුවා මාස03 කට පමණපසුව) සහ රෛසෝම වර්ධනය වන

 අවධියයි.(බීජ සි‍ටුවා මාස 4-5 කට පමණ පසුව) බීජ අල සිටවු වහාම සහ ඉන්පසු දින 10 කට වරක් මාස

06 ක් පමණ වන තෙක් ජලය සැපයීම අස්වැන්න වැඩි කර ගැනීමට හේතුවේ.(වියළි කාලගුණික තත්ත්ව වලදී)

 

 

 

 

 

 

 

වසුන් යෙදීම:-

 

     වසුන් යෙදීම  මඟින්, අංකුර වර්ධනය ඉක්මන්වීම, පස සෝදා යාම පාලනය වීම, පසෙහි උෂ්ණත්වය අඩුවීම,

වල් මර්දනය වීම සහ පසෙහි භෞතික ගුණංග දියුණුවීම සිදු වේ. වසුන් යෙදීම මගින් වර්ධනය වන රෛසෝම

 හිරුඑළියට නිරාවරණය වීම වලක්වයි. එසේම රෛසෝම වර්ධනය පහසුවීම පිණිස පස බුරුල්ව තබයි. 

වැඩෙන ඉඟුරු බෝගය මූල මණ්ඩලය ඇවිස්සීම එහි පසු බෑමකට හේතුවක් වන නිසා වල් මර්දනයට වඩාත්

සුදුසු ක්‍රමය වන්නේ වසුන් යෙදීමයි.වසුන් යෙදීම නිසා ලබාගත හැකි තවත් අමතර වාසියක් වන්නේ  භෞතික

සහ රසායනික ගුණාංග වෙනස්වීම හේතුවෙන් පසෙහි ලබාගත හැකි පොටෑසියම් සහ පොස්පරස් ප්‍රමාණය ද

වැඩිවීමයි. 

                    

        පිදුරු,දහයියා, දිරූ යතු කුඩු සහ පොල් අතු ආදිය වසුන් සඳහා භාවිතා කළ හැකිය.කොහුබත් භාවිතා

කිරීමේදී එහි ඝනකම සෙ.මී. 5 ට වඩා අඩු විය යුතුයි.කොළ පොහොරද වසුන් සඳහා භාවිතා කළ හැකිය.  

කොළ පොහොර ලෙස ග්ලිසීඩියා අමු කොළ කි.ග්‍රෑම්. 4 ක් අඩි 3 1/2 × 10 පාත්තියකට මාසයකට වරක්

යොදන්නේ නම් එය වසුනක් ලෙස ක්‍රියා කරන අතරම, අවශ්‍ය පොහොරද සපයයි.ග්ලිසීඩියා කොළ මගින්

වට පණුවන් පාලනය වීමද සිදුවේ.

 

        පළමු වර වසුන් යෙදීම ඉඟුරු බීජ සි‍ටුවීමෙන් පසුවත් දෙවෙනි සහ තෙවෙනි වර පිළිවෙලින් දින 45ක දී

 පමණ සහ මාස 3 කදී පමණසිදුකළ හැකිය.

 

වල් මර්දනය:-

         වල් මර්දනය සහ වසුන් යෙදීම එකවර සිදුකළ හැකි කාර්යයන් දෙකකි.ඉඟුරු ඒකබීජ පත්‍රී ශාකයක්

බැවින් තෘණ කුලයේ වල් පැළෑටි මර්දනයට යොදන රසායනික වල්නාශක යෙදීම ප්‍රායෝගික නොවේ.

වල් පැළ කුඩා කාලයේ දී අතින් ගලවා ඉවත් කළ යුතුයි. වසුන් යෙදීම මඟින් වල් පැළෑටි සැලකිය යුතු මට්ටම

කට අඩුවේ.ඉඟුරු වගාවක වර්ධන  කාලයතුළ සාමාන්‍යයෙන් දෙවතාවක් හෝ අවශ්‍ය නම්  තුන් වතාවක් 

වල් මර්දනය කිරීම අවශ්‍ය වේ.පළමු වල් මර්දනය බීජ සි‍ටුවා සති හයකින් පමණ (දෙවන වසුන් යෙදීමට පෙර)

සහ දෙවන වල් මර්දනය බීජ සි‍ටුවා මාස 4 කින් පමණ සිදු කිරීමද යෝග්‍ය වේ.

 

පස් ලංකිරීම:-

              පැළ මුලට පස් ලංකිරීම ඉඟුරු වගාවේදී කළ යුතු වැදගත් ශෂ්‍ය විද්‍යාත්මක කාර්යයකි.රෛසෝම

වර්ධනයට උපකාරිවන අතර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ද හේතුවේ.එසේම වර්ධනය වන රෛසෝම

වලට ප්‍රමාණවත් වාතනයක්ද සිදුවේ. තවද රෛසෝම වලට හානි කරන කොරපොතු කෘමියා මර්දනය කිරීම

සඳහා ද වල් මර්දනය සඳහාද පස් ලංකිරීම උපකාර වේ.පස් ලංකිරීමෙන් වැඩෙන රෛසෝම තිරස්ව නොව

සිරස්ව වර්ධනය වීමට හේතුවන අතර ඒකක භූමි ප්‍රමාණයකින් ලැබෙන රෛසෝම ප්‍රමාණය වැඩි කරගැනීමටද

හේතුවේ.

 

              වැඩෙන බෝගයට පේළි දිගේ වරින් වර පස් ලං කළ යුතුය.පළමු පස් ලං කිරීම රෛසෝම

ප්‍රරෝහනය වන මුල් අවස්ථාවේදී පළමු මතුපිට පොහොර යෙදීමත් සමගම කළ යුතුය.රෛසෝම වර්ධනය

වන විට ඒවා පොළව මතුපිටට එන අතර, ඒවා වැසීමට වරින් වර පස් එකතු කළ යුතුය.සි‍ටුවා සති 6 කින් සහ

 මාස 4 කින් පස් ලං කිරීම ද සිදු කළ හැක. වගා කාලය තුළ පස් වරක් හෝ හය වරක් පස් ලං කිරීම ගුණාත්ම

යෙන් ඉහළ වැඩි අස්වැන්නක් දීමට හේතු වේ. ප්‍රමාණවත් ලෙස පස් එකතු කිරීමට අපොහොසත් වන අවස්ථා

 වලදී තිරස්ව වැඩුණු ගැටලු සහිත ඉඟුරු රෛසෝම ඇතිවේ.

 

සෙවණ පාලනය:-

                 ඉඟුරු මද සෙවණ ප්‍රිය කරන බෝගයකි. එහෙත් එහි වර්ධනයට සෙවණ අවශ්‍යම නැත. ඉඟුරු

වල සෙවණ අවශ්‍යතාවය පිළිබඳව පර්යේෂණ රාශියක් සිදු කර ඇත. සෙවණ තත්වයන්, පඳුරේ උස, පඳුරු

සංඛ්‍යාව වැඩිවීමට සහ ආහාර නිෂ්පාදනය වැඩි වීමට හේතුවේ.සෙවණ සහිත ස්ථානවල වගාකරන ඉඟුරු අල

හැකිලීමකට ලක් විය හැකි බැවින් එය අවාසියකි.අධික සෙවණ තත්වවලදී පඳුරු සංඛ්‍යාව, පත්‍ර සංඛ්‍යාව සහ

අස්වැන්න අඩුවේ. ඉඟුරු ශාක සම්පූර්ණයෙන්ම හිරු එළියට නිරාවරණය කළපසු අස්වැන්න වැඩි වන බවත්

ඊට සාපේක්ෂව ඔලියොරෙසීන් ප්‍රමාණය වැඩිවන බවත් සොයා ගෙන ඇත.මද සෙවණ තත්වයන් හිතකර බව

පර්යේෂණවල නිගමනයයි.ඒ අනුව 25% - 50% සෙවණ තත්ත්ව වලදී පෝෂක උරා ගැනීම වැඩිවන අතර

ඉහළ අස්වැන්නක් ලබා ගත හැකිය. 25% සෙවණ මට්ටමකදී වාෂ්පශීලී තෙල් ප්‍රතිශතය ද ඔලියොරෙසීන

ප්‍රතිශතය ද සැලකිය යුතු ලෙස වැඩිය. සෙවණ මට්ටම 50%  වැඩිවූ විට අස්වැන්න අඩුවේ.සම්පූර්ණයෙන්ම

හිරු එළියට නිරාවරණය වී ඇති ඉඟුරු වගාවක පත්‍ර දිලීර හානියකට ( පත්‍ර පුල්ලිරෝගයට) ලක්වූ පසු වර්ධනය

ඇනහිටීමක් නිරීක්ෂණය කර ඇති අතර, මද සෙවණ තත්ත්වයකඇති ඉඟුරු වගාවක් දිලීර හානියකට ලක්

වූවද එහි වර්ධනයේ පසුබෑමක් දක්නට නොලැබේ.

 

පොහොර යෙදීම:-

                      කාබනික සහ රසායනික පොහොර යන දෙවර්ගයම ඉඟුරු වගාවකට යෙදීම වඩාත් සුදුසුය.

කාබනික පොහොර ඉඟුරු අස්වැන්න වැඩිකර ගැනීමට මෙන්ම එහි ගුණාත්මක භාවය සඳහා ද හේතුවේ.

කොම්පෝස්ට් පොහොර, හොඳින් දිරාපත්වූ කුකුල් පොහොර, ගොම පොහොර ග්ලිරිසීඩියා කොළ ආදිය

සුදුසු කාබනික පොහොරවේ.හෙක්ටයාරයකට කාබනික පොහොර ටොන් 20 ක් පමණ යෙදීම ප්‍රතිඵලදායකවේ.

බීජ සි‍ටුවීමට දින 5 කට පමණ පෙර කාබනික පොහොර යෙදිය යුතුයි.ඉඟුරු වගා කරන පසෙහි පී.එච්. අගය 5

 ට අඩුවූ විට ඩොලමයිට් යෙදිය යුතුය. හෙක්ටයාරයකට ඩොලමයිට් ටොන් 1-2 පමණ සෑහේ.ඩොලමයිට්

යෙදිය යුත්තේ ඉඟුරු සි‍ටුවීමට සති දෙකකට පමණ පෙරය.මෙසේ යොදන ඩොලමයිට් පසට හොඳින් කළවම්

කළයුතුයි.කිසිවිටකත් ඩොලමයිට් සහ රසායනික පොහොර එක වර නොයෙදිය යුතුයි.කුකුල් පොහොර

 යොදන්නේ නම් පස තෙත්ව තිබියදී,ඉඟුරු බීජ සි‍ටුවීමට දින 3-5 කට පමණ පෙර පාත්තිවලට දමා හොඳින්

කලවම් කළයුතුයි. පොස්පරස් අඩංගු පොහොර මුලින්ම යොදන විට බීජ සි‍ටුවීමට පෙර පස් වලටහොඳින් මිශ්‍රකළ යුතුයි.

ඉන් පසුවපොහොර යොදන විට පැළ පේළිවල විසුරුවා,පසට කළවම්කර වසුනක් යෙදිය.පොහොර යොදන

විටපස සෑම විටම තෙත්ව තිබිය යුතුයි.

 

 

 

 

 

        

 

 

 

bottom of page